හිටපු පාලන සමයේ සහ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ බදු ප්‍රතිපත්ති, උද්ධමනය සහ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් සිදුවූ ආකාරය සංසන්දනය කරමින් ඉදිරිපත් කර ඇති කරුණු මගින් විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සැලසුම් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග විවේචනය කර තිබේ.
එම කරුණු දැක්වීමට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවූ සේවකයන්ට උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) පැනවූ අතර, ඒ වන විට උද්ධමනය 49.6%ක් වී තිබූ බව සඳහන් වේ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි උපයන විට ගෙවීමේ බදු කඩයිම් සීමාව රුපියල් 150,000ක් දක්වා ඉහළ දැමූ බවත්, ඒ වන විට උද්ධමනය ඍණ 2.0%ක් දක්වා පහත හෙළූ බවත් එහි දැක්වේ.
ලෝකයටම බලපාන ලෙස ඇති වූ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල 189%ක් දක්වා ඉහළ ගොස් මේ වන විට 126%ක් වී ඇති පසුබිමක සහ නාවික ගාස්තු ඉහළ යාම හමුවේ ලෝකය පුරා උද්ධමනය ඉහළ යද්දී, ශ්‍රී ලංකාව තුළ උද්ධමනය 8.3%ක සීමාවේ රඳවා ගැනීමට ආණ්ඩුව සමත් වී ඇති බව ද එම ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
එමෙන්ම ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප තුන්වන වරටත් ඉහළ දැමීමට මුදල් වෙන් කර ඇති බව එහි පෙන්වා දෙයි. ඒ සඳහා නිදසුනක් ලෙස දක්වා ඇත්තේ 2024 දෙසැම්බර් 31 වන දින වන විට රුපියල් 31,490ක් වූ ගුරු සේවයේ 3 II ශ්‍රේණියේ මූලික වැටුප 2027 ජනවාරි සිට රුපියල් 53,060ක් දක්වා රුපියල් 21,570කින්, එනම් වසර දෙකක් තුළ 68.5%කින් ඉහළ දමා ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 49.6%ක් වූ උද්ධමනය ඍණ අගයක් දක්වා අඩු කර ජාත්‍යන්තර යුද්ධයක බලපෑම හමුවේ මේ වන විට 8.3%ක් දක්වා පාලනය කර ඇති බවත්, ගුරු සේවයේ අවම වැටුප් වැඩිවීම 68.5%ක් දක්වා ඉහළ නංවා ඇති බවත් පවසන එම කරුණු දැක්වීම, එවැනි පසුබිමක විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති පාසල් දරුවන් සහ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බවට චෝදනා කර තිබේ.