ලෝකයම වෙළාගෙන පවතින යුදමය වාතාවරණයේ දරුණු බලපෑම් හමුවේ, මෙරට ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 10,000ක (රුපියල් බිලියන 100ක) දැවැන්ත සහන පැකේජයක් ලබාදීමට ජාතික ජන බලවේග රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෙන්ම මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර කුමාර දිසානායක, අද (07) දහවල් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම සහන පැකේජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මෙම සහන වැඩපිළිවෙළ යටතේ සමාජයේ විවිධ කොටස් වෙත සෘජු ප්‍රතිලාභ ලබා දීමට නියමිතය. ඒ අනුව, පොදු ඉන්ධන සහනාධාරයක්, අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසය වෙනුවෙන් විශේෂ සහනාධාරයක්, ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් සහ ධීවර කාර්මිකයින් සඳහා විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගෙන ඇත. අදාළ ක්ෂේත්‍ර මුහුණ දී ඇති අර්බුද සමනය කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි මෙම සහන බෙදා හැරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, පසුගිය ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය හමුවේ රුපියල් කෝටි 50,000ක (රුපියල් බිලියන 500ක) සහන පැකේජයක් සාර්ථකව ලබා දුන් ආකාරයටම, මෙම රුපියල් කෝටි 10,000ක මුදල ද පවතින වර්ෂය සඳහා වෙන් කර ඇති රජයේ වියදම් සීමාව (Budget Limit) ඉක්මවා නොයන පරිදි මනා මූල්‍ය කළමනාකරණයකින් යුතුව සපයා ගන්නා බවයි.
ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින්, ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රකාශය අවසන් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.