දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන අමෙරිකානු විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී ජනාධිපතිවරයා විසින්, මේ වන විට උත්සන්න වී ඇති මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන මධ්‍යස්ථ ස්ථාවරය අමෙරිකානු නියෝජිත පිරිස වෙත පැහැදිලි කළේය. එසේම, එම ගෝලීය අර්බුදය හමුවේ ආර්ථික සහ බලශක්ති අංශවලින් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වීය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ අමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සමඟ පැමිණි රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස එක්ව සිටියහ.