මත්ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය වුවද, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් පොදු සමාජය සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන කඩිනම් කරන ලෙස ද ඔහු අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ස්ථාපිත ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රට තුළ කවර සමාජ හෝ ආර්ථික අභියෝග මතු වුවද, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ කිසිදු අයුරකින් අඩපණ නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව කියා සිටියේය. මත්ද්‍රව්‍ය සැපයුම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ අධිකරණ කටයුතු ශක්තිමත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.

‘රටම එකට’ මෙහෙයුමේ ප්‍රගතිය
2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදු කර ඇති බව මෙහිදී අනාවරණය විය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතරට ගංජා කිලෝග්‍රෑම් 4,520ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 1,066ක්, අයිස් කිලෝග්‍රෑම් 1,930ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 270ක් ඇතුළත් වේ. මෙම කොකේන් තොගය ශ්‍රී ලංකා ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම සහ මිල අධිකම තොගය වීම විශේෂත්වයකි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි දරුවන් 1,772ක් සහ ගැහැණු දරුවන් 81ක් ද සිටින බව වාර්තා විය. දැනට පුද්ගලයින් 1,840ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.

පුනරුත්ථාපන සහ නීතිමය ගැටලු
පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේදී පවතින නීතිමය දුර්වලතා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට කඩිනමින් පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. එසේම මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීමේ ප්‍රමාදයන් සහ නඩු විභාග කඩිනම් කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැරදි වෙනුවෙන්ම විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමේ යෝජනාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බාහිර රෝගී අංශ හරහා මූලික ප්‍රතිකාර ලබා දීම, මානසික වෛද්‍ය සායන පුළුල් කිරීම සහ ප්‍රජා පාදක පුනරුත්ථාපනය ඇතුළු ප්‍රධාන උපායමාර්ග 06ක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුන්නේය.

පාසල් දරුවන් ඉලක්ක කරගත් මර්දන වැඩසටහන් සහ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක හිමි, පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමි ඇතුළු අන්‍යාගමික නායකයින්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ‘රටම එකට’ මෙහෙයුම් සභාවේ නියෝජිතයෝ එක්ව සිටියහ.