මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සැපයුමට එල්ල වී ඇති අභියෝග කළමනාකරණය කරමින්, ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ විකල්ප ක්‍රමවේද ගණනාවක් පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු විය. විශේෂයෙන් රාජ්‍ය සේවය සඳහා සතියකට එක් දිනක නිවාඩුවක් ලබා දීම සහ නිවසේ සිට රාජකාරි කිරීමේ (Work From Home) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අදාළ ආයතන ප්‍රධානීන් වෙත පැවරීමට ද යෝජනා විය.

අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ධීවර, කෘෂිකර්ම, වරාය සහ ඩිජිටල් සේවා වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට අවම බලශක්ති පරිභෝජනයක් යටතේ සේවා පවත්වාගෙන යාම සඳහා ලබා දිය යුතු ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, අද (17) දිනය තුළ එම කමිටු වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මෙම අර්බුදය හමුවේ දෛනික ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමය යළි විධිමත්ව හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය දත්ත කඩිනමින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබා දෙන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව, සියලුම රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, රජයේ මෙම බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන් වන විජිත හේරත්, වසන්ත සමරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින් ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.