ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩ පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට නිර්මාණය කරමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
නිසි ප්‍රමිතියෙන් යුත් නව බස් රථ ධාවනයට එක් කිරීමටත්, පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීමටත් රජය සැලසුම් සකස් කරමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එය එකවර සිදු කළ නොහැකි කාර්යයක් වුවද, සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් ගුණාත්මක බස් රථ සංචිතයක් මෙරට ජනතාවට හිමිකර දීමට හැකි වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි අලුතින් බඳවාගත් රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි.
අතීතයේදී ලංගමය සහ ජනතාව අතර පැවති ඓන්ද්‍රීය බැඳීම සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ අයථා ගනුදෙනු හේතුවෙන් එය බිඳ වැටුණු බව කියා සිටියේය. එම තත්ත්වය වෙනස් කරමින්, ත්‍රාඩ දේශපාලනයෙන් තොර නව සංස්කෘතියක් ලංගමය තුළට ගෙන ඒමේ වගකීම අලුතින් පත්වීම් ලැබූ පිරිස සතු බව ඔහු අවධාරණය කළේය.
පෞද්ගලික ප්‍රවාහන වියදම් අඩු කිරීම, වාහන ආනයන වියදම සීමා කිරීම, පරිසර දූෂණය අවම කිරීම සහ මාර්ග තදබදයට විසඳුමක් ලෙස ශක්තිමත් පොදු ප්‍රවාහනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. මේ මාසය තුළ ජපානයෙන් නව බස් රථ 08ක් ලැබෙන බවත්, ඇණවුම් කළ තවත් බස් රථ අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට ලැබීමට නියමිත බවත් ඔහු හෙළි කළේය.
මගී ප්‍රවාහනය කර්මාන්තයකට වඩා ස්වයං රැකියාවක් බවට පත්වීමෙන් ගුණාත්මක සේවාවක් අහිමි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවෙන් යුත් කලාපීය බස් සමාගම් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කළේය. ප්‍රවාහන සේවාව ලාභ-අලාභ මත මැනීමට රජය සූදානම් නොමැති බවත්, පාඩු ලබන ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහනය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,000ක් වෙන් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.




















