මැදපෙරදිග හෝ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථව කටයුතු කිරීම බවත්, කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ පීඩාවක් වන අයුරින් ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන අතරම මනුෂ්‍යත්වය පෙරදැරිව කටයුතු කරන බවයි. ඉරාන නෞකා සම්බන්ධයෙන් පැන නැගුණු තත්ත්වයේදී ද රජය අනුගමනය කළේ එම ප්‍රතිපත්තිය බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය 26 වන දා ඉරාන නාවික යාත්‍රා 03ක් ශ්‍රී ලංකා වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියද, ජාත්‍යන්තර සම්මුතීන් සහ ක්‍රියාපටිපාටි අධ්‍යයනය කරමින් සිටි බැවින් ඊට අවසර ලබා දී නොතිබුණි. කෙසේ වෙතත්, එක් නෞකාවක සිටි රෝගී නාවිකයෙකුට ප්‍රතිකාර ලබා දීම සඳහා මානුෂීය පදනමින් අවසර ලබා දුන් බවත්, ඉන්පසු මාර්තු 04 වන දා අලුයම ගාලු වරායට ඔබ්බෙන් වූ මුහුදේ ප්‍රහාරයකට ලක් වූ නෞකාවක සිටි 32 දෙනෙකු බේරාගෙන, මළ සිරුරු 84ක් ගොඩබිමට රැගෙන ආ බවත් ජනාධිපතිවරයා විස්තර කළේය.

තවද, IRIS Bushehr නෞකාවට සිදු වූ ආපදාව හේතුවෙන් එය වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බවත්, මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය සහ හේග් සම්මුතියට අනුකූලව කටයුතු කරමින් අදාළ නෞකාව සහ එහි සිටින පිරිස ශ්‍රී ලංකා භාරයට ගැනීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව නෞකාවේ සිටින 208 දෙනෙකු (නිලධාරීන් 53, කැඩෙට් නිලධාරීන් 84, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48 සහ නාවිකයන් 23) ආරක්ෂිතව ගොඩබිමට ගෙන ඒමටත්, වාණිජ කටයුතුවලට බාධා නොවන පරිදි නෞකාව ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන යාමටත් සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර දේශපාලන බලපෑම් හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයේ තබා ගනිමින් මෙම තීරණ ගත් බවත්, ලෝක සාමය වෙනුවෙන් ඕනෑම පාර්ශවයකට සහාය දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.