මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ රජයක් ලෙස සුබදායී තත්ත්වයක් අපේක්ෂා කරන අතරම, සිදුවිය හැකි නරකම දෙයට මුහුණ දීම සඳහා සූදානම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම යුද ගැටුම ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයටත් අහිතකර ලෙස බලපෑ හැකි බවයි. එබැවින් ඊට මුහුණ දීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් රජය විසින් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිවරයා, වසර 47කට පසු තෙල් පිරිපහදුවේ ධාරිතාව 100%කින් ඉහළ නැංවීමටත්, කොළොන්නාවේ මෙට්‍රික් ටොන් 86,000ක නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇති බව හෙළි කළේය. මීට අමතරව මුතුරාජවෙල ගබඩා ධාරිතාව ඉහළ නැංවීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සහ වසර 90ක් පැරණි නළ පද්ධති අලුත්වැඩියා කිරීම ඇතුළු බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 30කට අධික මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වර්තමාන ඉන්ධන සංචිත පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, ඩීසල් සඳහා දින 33ක සහ පෙට්‍රල් සඳහා දින 40ක සංචිත පවතින බවයි. ගුවන් යානා ඉන්ධන සඳහා දින 49ක සංචිතයක් පවතින අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත නැව් හරහා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගෑස් සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳීම සඳහා පෞද්ගලික අංශයේ ගබඩා පහසුකම් ලබා ගැනීමටත්, හදිසි නීති රෙගුලාසි යටතේ අපනයනය සඳහා වෙන්කර ඇති ගෑස් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගත් බව ජනාධිපතිවරයා පැවසීය. ලිට්රෝ සමාගම හරහා නව සිලින්ඩර ලක්ෂයක් ඇණවුම් කර ඇති බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

මැදපෙරදිග සේවය කරන ලක්ෂ 10කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාල හරහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාවක් ස්ථාපිත කර ඇති බවත්, අපනයන සහ සංචාරක ක්ෂේත්‍රවලට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.