ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය සම්බන්ධයෙන් සිදු කළ ජනමත විමසුම් දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ, දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය ඒ වෙත යොමු වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය (Verité Research) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සිදු කළ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි.
රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දික ගුණසිංහ ‘ලංකාදීප’ පුවත්පතට සපයා ඇති සටහනකට අනුව, වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේදී රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අනුමැතිය 65% දක්වා ඉහළ ගොස් ඇත. 2024 ජූලි මාසයේදී මෙය පැවතියේ 24%ක් වැනි අගයකය. එසේම ආර්ථිකය නිවැරදි දිශාවට ගමන් කරන බව විශ්වාස කරන පිරිස ද 30% සිට 64% දක්වා වර්ධනය වී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සිදු කළ සමීක්ෂණයට අනුව, ‘දිට්වා’ සුළි කුණාටුව කළමනාකරණය සම්බන්ධයෙන් 74%ක ජනතා තෘප්තියක් පවතින අතර, ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රසාදය 78%ක් ලෙස වාර්තා වේ. විශේෂයෙන් උතුර (86%), නැගෙනහිර (89%) සහ වයඹ (97%) පළාත්වල මෙම අගය ඉතා ඉහළ මට්ටමක පැවතීම ජාතික සමගිය තහවුරු වන බවට සාක්ෂියකි.
මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන කරුණ වන්නේ, මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා රජය ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවලට ජනතා ප්‍රසාදය හිමිවීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම හුදෙක් පොලිස් රාජකාරියක් පමණක් නොව, එය ආර්ථික ප්‍රතිපත්තියක් සහ සමාජ සංවර්ධන කටයුත්තක් ලෙස ජනතාව පිළිගෙන ඇති බව ආචාර්ය චන්දික ගුණසිංහ පෙන්වා දෙයි.
2025 මුල් මාස නවය තුළ 5.5%ක ආර්ථික වර්ධනයක්, ඩොලර් බිලියන 8.1ක විදේශ ප්‍රේෂණ සහ 1956න් පසු වාර්තා වූ අවම අයවැය හිඟය (2.4%) වැනි සාර්ව ආර්ථික දත්ත ද මෙම විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වී ඇති බව එම විග්‍රහයේ වැඩිදුරටත් දැක්වේ.