කිසිවෙකුත් මග නොහැරෙන සේ ආචාරධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමූහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව පැවති රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා අද (19) මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ AI තාක්ෂණය පසුගිය සියවස්වල කාර්මීකරණය මෙන්ම ජාතික වර්ධනය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන පරිවර්තනීය බලවේගයක් බවයි. එහෙත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එසේ නොවන රටවල් අතර පරතරය පුළුල් වීම හරහා බොහෝ රටවල් ඩිජිටල් ආර්ථිකයෙන් වියුක්ත වීමේ බරපතළ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා හා මතවාදයන් කිහිපයකට පමණක් සීමා වුවහොත් සංස්කෘතික විවිධත්වය ගිලිහී යා හැකි බවට අනතුරු ඇඟවීය. එබැවින් දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර AI පද්ධති තුළට බද්ධ කිරීමේ (Cultural Alignment) අවශ්‍යතාව ජනාධිපතිවරයා ලෝක නායකයන් හමුවේ පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව සතුව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තරුණ මානව සම්පතක් සහ ශක්තිමත් නීති පද්ධතියක් පවතින බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ එක්ව තිරසාර කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් (Regional AI Data Centers) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට ඇති විභවය පිළිබඳව ද කරුණු දැක්වීය.
එබැවින් අඩු වියදමකින් තාක්ෂණය ලබාගැනීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් වූ කලාපීය සහයෝගීතාවක් ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලදී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රසීල ජනාධිපති ලූලා ඩි සිල්වා, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් සහ භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෙයි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එක්ව සිටිති.