“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී (Bharat Mandapam) සිදු විය.

මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව පසුගිය 17 වන දා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (19) දින “AI Impact Summit 2026” සමුළුව ඇමතීමට නියමිතය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීම අරමුණු කරගත් මෙම සමුළුව දින පහක් පුරා පැවැත්වෙන අතර, ඒ සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙන්ම ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ද සහභාගී වී සිටිති.