විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කරයි.

ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ලබා දුන් සහයෝගය කිසිවිටෙකත් අමතක නොකරන බවයි.

ලබන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ජනය කරන ලෙස පාකිස්තාන රජය මීට පෙර එරට ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී තිබිණි. මෙම පසුබිම තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් අතර ඊයේ (09) පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාව අන් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බවයි. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමයේ පාකිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ලබාදුන් සහාය ද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම සුහදශීලී ඉල්ලීම පිළිගනිමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, පෙබරවාරි 15 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව පාකිස්තාන රජය සිය නිල ‘X’ ගිණුම හරහා තහවුරු කර ඇත.