ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හිමි වේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූන් වහන්සේලා අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීමකින් මෙම ධාතූන් වහන්සේ සොයාගෙන ඇති අතර, බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙම ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවා තිබේ. “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා ඊයේ (04) ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය.

ධාතු වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුළ ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කරයි.

මේ අතර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අද සිට ලබන 10 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කෙරේ.