නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගනිමින් සිටින ඓතිහාසික මොහොතක මෙවර නිදහස් දිනය සමරන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බව සිහිපත් කරයි. එසේම අදූෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සන්නාමගත කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද ඔහු පෙන්වා දෙයි.

ලබාගත් සාර්ව ආර්ථික ප්‍රතිලාභ සියලු පළාත්වල සහ සියලු ජාතීන් වෙත ගලා යාමට සැලැස්වීම රජයේ මීළඟ ප්‍රධාන අරමුණ බවත්, එසේ නොමැතිව සංවර්ධනයේ සැබෑ රිද්මය ළඟා කර ගත නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. මෑතකදී මුහුණ දීමට සිදු වූ දරුණු ස්වභාවික ව්‍යසනය මධ්‍යයේ වුවද, ගොඩනගා ගත් ස්ථාවර පදනම මත යළි නැගී සිටීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතින බව ද පණිවුඩයේ සඳහන් වේ.

විසිවන සියවසේ බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳ සිහිනය විසිඑක්වන සියවස තුළ සැබෑ කරමින්, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා එකමුතුව සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු පුරවැසියන්ට ආරාධනා කරයි.