වසර 07ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත සංවර්ධන නිලධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල දින 09ක් පුරා සිදුකළ අඛණ්ඩ උපවාසය අද (03) අවසන් කෙරිණි.
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා ගුරු විභාගයට පෙනී සිටීමට සංවර්ධන නිලධාරීන් සිය කැමැත්ත පළ කර තිබේ.
මේ අතර, අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු විභාගයට පෙනී සිටීමට එකඟතාව පළ කළ බවයි. විභාගයෙන් පසුවත් යම් පිරිසක් ඉතිරි වුවහොත්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊළඟ අදියරේදී සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය වී ඇත.