ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය.
මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදී මෙන්ම, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගරවලදී ද ක්‍රීඩා ලෝලීන්ට කුසලානය දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇත.
2026 පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය, 2012 වසරෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු දැවැන්තම ක්‍රිකට් සත්කාරක අවස්ථාවයි. මෙවර තරගාවලියට රටවල් 20ක් සහභාගි වන අතර, තරග 20ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ පාකිස්තාන කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබීමයි. යම් හෙයකින් පාකිස්තානය අවසන් පූර්ව සහ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවහොත් එම තරග ද්විත්වය ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත. එවිට අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට හිමි වන මුළු තරග සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස (තරග 08), පල්ලේකැලේ (තරග 07) සහ කොළඹ එස්.එස්.සී (තරග 05) තෝරාගෙන තිබේ. මෙම තරගාවලිය හරහා සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමය උත්පාදනයට දැවැන්ත රුකුලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


