‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අනාවරණය වූයේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයෑම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවයි. ඉදිකිරීම්, ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ පරිසර සංරක්ෂණය වැනි ක්ෂේත්‍රවලට අදාළ ආයතන එකිනෙකින් වියුක්තව ක්‍රියාත්මක වීමත්, දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ අවිධිමත් ඉදිකිරීම් සහ වගා කටයුතුත් මෙම විනාශයට ප්‍රධාන හේතු වී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
එබැවින් මධ්‍යම කඳුකරය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමට කඩිනම් ජාතික ප්‍රතිපත්තියක් සහ එය බලාත්මක කිරීමට පනතක් මගින් ස්ථාපිත කළ අධිකාරියක අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම කටයුතු කඩිනම් කරන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂ මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ UNDP නියෝජිතයෝ, මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන බවට සහතික වූහ.
මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානී චොල්පොන් මම්බෙටෝවා (Cholpon Mambetova), UNDP ශ්‍රී ලංකා නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota), අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, වැවිලි අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමුදු ලාල් බෝගහවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







