පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුර, දකුණ හෝ නැගෙනහිර කවර ප්‍රදේශයක වුව ද යළිත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2026 වසර සඳහා ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ප්‍රදේශයේදී එක්වෙමිනි. මෙම වැඩසටහන යටතේ දීපව්‍යාප්තව නව නිවාස 31,218ක් ඉදිකිරීමට නියමිත අතර, යුද්ධයෙන් අවතැන් වූ උතුරු හා නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් විශේෂිත නිවාස 2,500ක් ඉදි කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පළමු වරට උතුරේ ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් රට තුළ නිර්මාණය වී ඇති බවයි. බිඳුණු හදවත් යා කරමින්, සැකය සහ අවිශ්වාසය තුරන් කරමින් අනාගත පරපුර වෙනුවෙන් ගැටුම්වලින් තොර රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව ඔහු පැවසීය. යුද්ධයෙන් අවතැන් වූ සියලු ජනතාවගේ නිවාස ගැටලුව තම පාලන කාලය තුළ විසඳන බවට ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
උතුරේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඉන්දීය රජයේ ඩොලර් මිලියන 60ක ආධාර යටතේ කන්කසන්තුරේ වරායේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී යුද්ධයෙන් අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 800ක් සඳහා නිවාස ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 20ක ආධාර මුදලෙන් පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 03 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු විය.
මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.