2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ඒවා එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

2026 වසර සඳහා යෝජිත “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කළේය.

මෙවර අයවැය මගින් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක වියදමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. අදාළ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු ජනාධිපතිවරයා විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.

එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී ආරම්භ කර, මේ වන තෙක් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ. අරවින්ද ශ්‍රීනාත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.