රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ හැකි ඉක්මනින් මෙම කැඳවීම සිදු කරන ලෙස මන්ත්‍රීවරයා අදාළ ලිපිය මගින් පෙන්වා දෙයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජීවිත හා දේපළ හානි සිදුව ඇති බව නාමල් රාජපක්ෂ එම ලිපියෙන් අවධාරණය කරයි. ජලාශ, වාරි පද්ධති මෙන්ම කෘෂිකර්ම, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් බිඳ වැටී ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයන් ලෙස මැදිහත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය මීට වඩා විධිමත්ව මැදිහත් විය යුතු බවත්, ඒ වෙනුවෙන් මහජන නියෝජිත වගකීම ඉටු කිරීමට පාර්ලිමේන්තුව රැස්වීමේ අවශ්‍යතාව පවතින බවත් සඳහන් කර ඇත.