රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්, ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින වතිකානුවේ රාජ්‍ය ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කරයි.

අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ, අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහ ජාතික සමගිය වර්ධනය කිරීමට වතිකානුවේ පූර්ණ සහාය හිමිවන බවද එහිදී උන්වහන්සේ සහතික විය.

මෙම හමුවේදී ජනාධිපතිවරයා, අගරදගුරු හිමිපාණන් උණුසුම් ලෙස පිළිගත් අතර, රටේ වත්මන් තත්ත්වය සහ රජය අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන අවස්ථාවක මෙම සංචාරය සිදුකිරීම පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ සුනාමි ව්‍යසනයෙන් පසු රට යළි ගොඩනැගීමට වතිකානුව ලබාදුන් සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා, ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේට සිය සුබ පැතුම්ද එක් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අගරදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය තමන් මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේද බෙහෙවින් අගය කරන බව පැවසීය. එමෙන්ම, ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලනු ඇති බවටද උන්වහන්සේ ඉඟියක් ලබා දුන්නේය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි අගරදගුරු හිමිපාණන්, නොවැම්බර් 08 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර, එම කාලය තුළ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය.