වසර 165ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, මෙතෙක් පිරිමින්ට පමණක් සීමා වූ ප්‍රධාන තනතුරු කිහිපයක් කාන්තාවන් සඳහාද විවෘත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා, එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා බඳවාගෙන ඇත්තේ පිරිමි නිලධාරීන් පමණි. රාජ්‍ය අංශයේ, මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහාද කාන්තාවන්ට අවස්ථාව සලසා දීමේ රජයේ නව ප්‍රතිපත්තියට අනුකූලව මෙම ඓතිහාසික තීරණය ගෙන තිබේ.
දැනට පවතින බඳවාගැනීම් පටිපාටිවල කාන්තාවන් බඳවාගැනීම සඳහා ප්‍රතිපාදන නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව, වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අනුමැතිය ලබා දී ඇත.
මෙම තීරණය, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.