මෙරට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් පිහිටවූ ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පළමු වරට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.
පසුගිය 13 වනදා පැවති කැබිනට් මණ්ඩලයේදී, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත වූ අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ලෙස මෙම ජාතික මෙහෙයුම් සභාව පිහිටුවා තිබේ.
මෙම පළමු රැස්වීමේදී, මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, මෙම ක්‍රියාවලිය සඳහා පුළුල් ජනතා සහභාගීත්වයක් ලබාගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහ මාධ්‍ය ආයතන සම්බන්ධ කරගැනීම යන ප්‍රධාන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ සහ පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වී ඇති ආකාරයත්, එය බරපතල සමාජ-ආර්ථික ව්‍යසනයක් බවට පත්වී ඇති ආකාරයත් පෙන්වා දුන්නේය.
රටම ඒකරාශී කරගනිමින් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ වැදගත්කම, මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ විශේෂ ඇගයීමට ලක්විය.
මෙම වැදගත් අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පුළුල් පිරිසක් එක්ව සිටියහ.