රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට දැඩිව උපදෙස් දුන් ජනාධිපතිවරයා, එමගින් සංවර්ධනය සිදු නොවනවා පමණක් නොව, එකම ව්‍යාපෘතියට නැවත නැවත මුදල් වෙන් කිරීමට සිදුවීමෙන් නව ව්‍යාපෘති ඇනහිටින බවද පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ ශක්‍යතා අධ්‍යයනයකින් සහ නඩත්තුව පිළිබඳ සැලැස්මකින් තොරව සිදුකළ මහා පරිමාණ ඉදිකිරීම් හේතුවෙන් රජයට අමතර බරක් පැටවී ඇති බවද ජනාධිපතිවරයා විවේචනය කළේය. “හම්බන්තොට සාර්ක් මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය වැනි ගොඩනැගිලි නඩත්තුව දරාගත නොහැකි නිසා භාරගැනීමට ආයතනයක්වත් නෑ. රජයෙන් ඉදිකළ තානායම්, වෙළෙඳ සංකීර්ණ පාළු වෙලා. එවැනි ස්ථාන පෞද්ගලික අංශ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වඩාත් සුදුසුයි,” යැයි ඔහු පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයට බලපාන ගංවතුර සහ නායයෑම් ගැටලුව පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. අධි-අවදානම් කලාපවල පමණක් පවුල් 2763ක් ජීවත්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දුන් අතර, ගංවතුර පාලනය සඳහා යෝජිත ‘Dry Dam’ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය 2014න් පසු සිදුකර නොමැති බව හෙළිවිය. ඒ අනුව, ගංවතුර උවදුරට වඩාත් සුදුසු විසඳුමක් සෙවීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට ලබන අයවැයෙන් මුදල් වෙන් කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.
මීට අමතරව, දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා අපරාධ, මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට ගෙන ඇති පියවර, පතල් කර්මාන්තයේ ගැටලු සහ ඌන උපයෝජිත ඉඩම් ඵලදායී ලෙස යොදාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.