2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 2026 අයවැය වන විට රටේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

නැවතී තිබූ චීන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහය ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙම අධිවේගී මාර්ගය සඳහා 2.5% – 3.5% වැනි අඩු පොලී අනුපාතයක් යටතේ යුවාන් මුදලින් ණය ලබාදීමට චීන එක්සිම් බැංකුව එකඟ වීම පිළිබඳව සිය ස්තූතිය පුද කළේය.

රට තුළ නීත්‍යානුකූල රාජ්‍යයට සමාන්තරව ගොඩනැගී ඇති “යටිබිම්ගත කළු රාජ්‍යය” සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය. “සංවිධානාත්මක අපරාධකරුවන්ට පොලීසියෙන් රැකවරණය ද, දේශපාලන අධිකාරියෙන් නීති විරෝධී පාස්පෝට් ද ලැබෙනවා. මේ යටිබිම්ගත රාජ්‍යය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා,” යැයි ඔහු පැවසීය.

දූෂණයට එරෙහිව දැඩි ස්ථාවරයක සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පැරණි දූෂිත ක්‍රමවලට ඇබ්බැහි වූ රාජ්‍ය නිලධාරීන්ට නව දේශපාලන සංස්කෘතියට හැඩගැසෙන ලෙසත්, එසේ නොමැති නම් ඉවත්වන ලෙසත්, නැතහොත් ඉවත් කරන බවටත් දැඩි අනතුරු ඇඟවීමක් කළේය. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන අතරම, ඊට සරිලන සේවාවක් ජනතාවට ලබාදීම ඔවුන්ගේ වගකීම බවද ඔහු සිහිපත් කළේය.

ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වසර අවසන් වන විට 5%ක ආර්ථික වර්ධනයක්, ඩොලර් බිලියන 7ක විදේශ සංචිතයක් සහ ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන දැනටමත් තහවුරු කරගෙන ඇති බවද හෙළි කළේය. “වන්දනාමාන කරන දේශපාලකයන් සහ ඔවුන්ට බියවන පුරවැසියන් වෙනුවට, ප්‍රශ්න කරන, නිර්භයව අදහස් දක්වන දියුණු පුරවැසියෙකු බිහිකිරීම අපේ අරමුණයි. ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප භාරගෙන තිබෙනවා,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.