ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රටේ බලශක්ති ස්වාධිපත්‍යය තහවුරු කරමින් ආර්ථික ස්වාධිපත්‍යය කරා යන ගමනේදී, රජයේ වැඩපිළිවෙළට කවර හෝ වෘත්තීය සමිතියක් බාධා කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව තීන්දු ගැනීමට රජය පැකිළෙන්නේ නැති බවට ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අනතුරු ඇඟවීය.
“ගතානුගතික සම්ප්‍රදායෙන් හෝ මිනිස් ශ්‍රමයෙන් පමණක් ආයතනයක් ඉදිරියට ගෙන යා නොහැකියි. තාක්ෂණය හා විද්‍යාව ඊට එක් කළ යුතුයි,” යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා, ආයතන යාන්ත්‍රීකරණය කිරීමේදී සේවකයන්ට සිදුවන බලපෑම් අවබෝධ කරගෙන ඊට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.
පැවති දේශපාලන සංස්කෘතිය යටතේ රාජ්‍ය සේවකයන් ඡන්ද මංකොල්ලකෑම වැනි දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදාගත් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ජනතාව ඡන්දය ලබා දුන්නේ එම විනාශකාරී ක්‍රමය වෙනස් කිරීමට බවත්, වෙනස් වීමට සූදානම් නැති අයට එරෙහිව තීන්දු ගැනීමට සිදුවන බවත් අවධාරණය කළේය.
වසර ගණනාවක් ප්‍රමාද වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සහ තෙල් ගවේෂණ කටයුතු වෘත්තීයවේදීන්ට භාරදී යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඉදිරි මාස දෙකක කාලය තුළ ඔවුන්ට තෝරා ගැනීමට මාර්ග කිහිපයක් ඇති බවට ඉඟි කළේය.
විදුලිබල ක්ෂේත්‍රයේ පැවති දූෂිත ගනුදෙනු සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් කලාපයේ ඉහළම විදුලි ගාස්තු ගෙවන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පෙන්වා දෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එම තත්ත්වය වෙනස් කර විදුලි ඒකකයක පිරිවැය අවම කිරීමට රජය පියවර ගෙන ඇති බව අවධාරණය කළේය.
කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ නව ගබඩා ටැංකි 6ක් ඉදිකිරීම අරඹමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පසුගිය කාලයේ පුනර්ජනනීය බලශක්තිය දේශපාලන හිතවතුන්ට ලයිසන් විකිණීමේ ජාවාරමක් බවට පත්ව තිබූ බවත්, විදුලිබලය ගැන කිසිදු දැනුමක් නොමැති පුද්ගලයන්ට ව්‍යාපෘති ලබා දී තිබූ බවත් ජනාධිපතිවරයා හෙළි කළේය. “අප ආණ්ඩු බලය ගන්න කලින් උතුරේ සුළං බලාගාරයක් ලබා දී තිබුණේ ඩොලර් ශත 8කට. අප ඒ භූමියම, ඒ සුළඟම භාවිත කරලා විදුලි ඒකකයක් ඩොලර් ශත 4කට නිපදවන ආයතනයකට ලබා දුන්නා. ඒ කියන්නේ වියදම 50%කින් අඩු කළා,” යනුවෙන් ඔහු පැවසීය.
එමෙන්ම, 2015-2019 ආණ්ඩුවේ නායකයින් අතර පැවති ගැටුම් හේතුවෙන් කෙරවලපිටිය බලාගාරය LNG බලාගාරයක් බවට පත්කිරීමට නොහැකි වීමෙන් අදටත් ජනතාවට ඉහළ විදුලි බිලක් ගෙවීමට සිදුවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා, “පසුගිය මාස 8 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක ලාභයක් ලබා තිබෙනවා. එම ලාභය අධ්‍යාපනය, සෞඛ්‍යය හරහා වක්‍රව ජනතාවට ලබා දෙනවා,” යැයි පැවසීය. ජනතාවට සේවයක් නොවන රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට රජය තීරණය කර ඇති බවද ඔහු අනාවරණය කළේය.
“පාලකයෝ දේවත්වයට ආරූඪ කළ යුගය අප අවසන් කළා. අප සියලු දේ දන්නේ නෑ. දැනුම තිබෙන විද්වතුන් සහ ප්‍රවීණයන් රට හදන ගමනට අදහස් ලබාදිය යුතුයි,” යැයි පැවසූ ජනාධිපතිවරයා, 2022 වසරේ මෙන් තෙල්, ගෑස් පෝලිම්වල ජනතාවට මිය යාමට සිදුවන අර්බුදයක් නැවත ඇති වීමට ඉඩ නොතබන බවටද සහතික විය.
