නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
‍ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit – 2025 සමුළුව අමතමිනි.
 
දින දෙකක් පුරා, ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගි වන මේ දැවැන්ත ජාත්‍යන්තර සමුළුවේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක යි.

මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කෙන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් ය.

රටවල් 50 ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ විශේෂඥයින් ඊට සහභාගි වෙමින් සිටී.

සමුළුව ආරම්භ වුණේ ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධනයේ පියා ලෙස සැලකෙන ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට්, ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති සමීර් සරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, කැපිටල් මහරාජා සමූහයේ සභාපති සශී රාජමහේන්ද්‍රන්, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් ගේ ප්‍රධානත්වයෙන් ය.

ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයාගැනීම් මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීම සඳහා ඉඩ සැලසෙන, නවෝත්පාදනය සඳහාම වෙන්වූ මෙවැනි සමුළුවක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

The Innovation Island Summit – 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා, මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්, එම මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන හරහා බවත් සඳහන් කළේය.

සෑම විටම මිනිස් ශිෂ්ටාචාරය නව අදියරකට ඔසවා තබන්නට නවෝත්පාදන සිදු කළ කාර්යභාරය ඉතා වැදගත් බවත්, මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් නොවන නමුත් අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය වෙනස් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාලිදිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරන බවත්, නව වෙළෙද පොළක් ඇති වන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය වෙනස් වුවහොත් පමණක් බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ලෝකයේ රටවල් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන් වෙනස් වන මාදිලිය හඳුනාගෙන එය අත්පත් කර ගැනීම නිසා බවත්, අසල්වාසී ඉන්දියාව ඊට හොදම නිදර්ශනයක් බවත් කියා සිටියේය.
 
අපේ රටේ නවෝත්පාදන සඳහා විශාල අවස්ථා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑමට අපේක්ෂා කරන බවද පැවසීය.
 
නවෝත්පාදන සඳහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව කී ජනාධිපතිවරයා නව සොයා ගැනීම් වාණිජකරණය වෙනුවෙන් යොදාගත යුතුව තිබෙන බව ද පැවසීය.

මේ වසරේ ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත්, එම අපනයන ආදායම සාක්ෂාත් කර ගැනීමට නම් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.

නවෝත්පාදනයේ ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත රැගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීම රජයේ වගකීම බව පැවසූ ජනාධිපතිවරයා, රජය අපේක්ෂා කරන අරමුණු රැසක් නවෝත්පාදනය හා බැදී පවතින බවද පැවසීය.
 
ගෝලීය ආර්ථික තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මෙන්ම ඩිජිටල්කරණය සහ නවෝත්පාදනයේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහ ආයෝජකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, නව ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසද ඉල්ලීමක් කළේය.
 
නවෝත්පාදන හා ව්‍යාපාර සඳහා ධනාත්මක පරිසරයක් රට තුළ දැනටමත් නිර්මාණය කර  තිබෙන බවත්, ඒ සඳහා  දක්ෂ ශ්‍රම බලකායක් අපේ රට සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.
 
https://www.youtube.com/embed/oD-E5pjjSgU?si=TlyyU6JlLI3-5_pu

සන්තෝෂ් ජා – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්,

” ශ්‍රී ලංකාව තුළ දැන් ඉතා වෙනසක් සිදුවිය හැකි ස්ථානයකට පැමිණ තිබෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණ දෙකෙහිම ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන් නව ප්‍රකාශනයක් සිදු කරනවා කියලා ඉතාමත් පැහැදිලි වෙනවා. COVID වසංගතය සහ ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය බොහෝ දෙනෙක් සහ බොහෝ පරම්පරා ලංකාවේ සිදු විය යුතු පරිවර්තනයක් පිළිබඳව අවධාරණය කරලා තියනවා.

මෙම සමුළුවේ තේමා තුන දිහා බැලුවොත්, නිල්, කොළ සහ ක්‍රෝම් ශ්‍රී ලංකාවට ඒ පරිවර්තනය සඳහා යන ගමනට ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ,  ජලයෙන් වට වූ දූපතක් බැවින් නිල් යනු පැහැදිලි තේරීමක්. ශ්‍රී ලංකාව දූපත් රටක් විදිහට හදුන්වනවා. ඉතින්, විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි බැවින් හරිත වර්ණයද සුදුසුයි කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ආසියානු කලාපයට අපනයනය කිරීම ඇතුළුව හරිත බලශක්තිය සඳහා පොහොසත් විභවයකින් යුතු රටක් වීමත් ආශිර්වාදයක් විදිහට දකින්න පුළුවන්.

මධ්‍යස්ථ මට්ටමේ ආදායම් ලබන රටවලට ඔවුන්ගේ මුල්බැසගත් අකාර්යක්ෂමතාවයන් අභිබවා යාමට, ඩිජිටල්කරණය නව මුදල් ඒකකය වී ඇති නිසා දැන් හැමදේම පහසුයි.  ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කරන්නේ අසල්වැසියා ප්‍රමුඛ කර ගත් සහ සාගර් ප්‍රතිපත්තිය මුල් කර ගනිමින්. අද, අපගේ සබඳතා වෙන කවරදාකටත් වඩා හොඳ පුළුල් පරාසයක පැතිරි යනවා.

 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සම්බන්ධතා, බලශක්තිය සහ ඩිජිටල්කරණය අපගේ හවුල්කාරිත්වයේ ප්‍රධාන කුළුණු තුන ලෙස හදුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, වරාය සහ ගුවන්තොටුපළ, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි ආරක්‍ෂක සහ ආරක්‍ෂක සහයෝගීතාවයට අමතරව අපි ඉතා වැදගත් වෙනත් අංශවල ද මේ වන විට නිරත වෙලා සිටීම සතුටට කරුණක් බව කියන්න ඕනේ”

ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට් සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වූවේ ය.

අනතුරුව ඔහු ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති සමීර් සරන් සමග සම්මුඛ සාකච්ඡාවකට ද එක් විය.

සමීර් සරන් – සභාපති ඔබ්සර්වර් පර්යේෂණ පදනම,

”කාන්ට් මහත්මයා ඔබට සංචාරක ක්ශේත්‍රය සම්බන්ධයෙන් දිගු සබඳතාවක් තියනවා. ඔබ සැළකෙන්නේ ඉන්දියාව සන්නාමයක් බවට පත් කරපු කෙනා විදිහට. විශ්මය දනවන ඉන්දියාව කේරලය දෙවියන්ගේ රට කියන සන්නාමය හදපු කෙනා විදිහට. ඔබ පරිසරයට වගේම භූ විශමතාවයන් ඇලුම් කරන්නෙක්. ඇත්තටම ඔබ කොහොමද මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නේ. මිනිස්සුන්ව ගෙන්ව ගන්නේ. ඔබ දැන් අසුන්ගෙන ඉන්නේ සංචාරකයන්ගේ සුරලෝකයක් විදිහට හැඩ ගැහුණු රටක.

මගේ විශ්වාසය හැටියට මෙවර මෙහි සංචාරක සමය බොහොම සරු එකක් වුණා. මේ වසරේ සංචාරක වාර කිහිපයම සාර්ථකයි. මේක මාස 07 ක් 08ක් පුරා දිව යන සංචාරක දිශාන්තයක් ඇති රටක්. අපිට මොනවාද ශ්‍රී ලංකාවෙන් උගත හැක්කේ. ඒ වගේම ශ්‍රී ලංකාවට අපෙන් ගන්න පුළුවන් අත්දැකීම සංචාරක ක්ශේත්‍රයට අදාලව. ඔබට සංචාරක ක්ශේත්‍රය පිළිබඳ දැක්මක් තියෙනවා. ඒක කොහොමද වැදගත් වෙන්නේ. අපි කොහොමද ඒක තිරසර කරගන්නේ. ඒක කොහොමද වැඩියෙන් වියදම් කරන පාරිභෝගිකයෝ ආකර්ෂණය කරවගන්න යොදා ගන්නේ?”

අමිතාබ් කාන්ට්- ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ,

‘’මුලින්ම මට කියන්න ඕනි ශ්‍රී ලංකාව වගේ නිෂ්පාදනයක් තවත් නැහැ. ලෝකයේ සංචාරක දිශාන්තීන් කිහිපයයි තියන්නේ මුහුදු වෙරළවල් තියන, වනෝද්‍යාන තියෙන, සංස්කෘතියක් තියෙන, ගෘහ නිර්මාණ ශිල්පයන් තිබෙන, ඉතිහාසයත් තිබෙන හා දියඇලි ජලාශ තිබෙන. මේ ඔක්කොම එකට එකතුවෙලා. ඒ වගේම ආහාර සූප ශාස්ත්‍ර සංස්කෘතිය මේ ඔක්කොම තියනවා. ශ්‍රී ලංකාව වගේ නිෂ්පාදනයක් ලොක්යේ සංචාරක දිශාන්තීන් අතර ඇත්තේ නෑ.

මන් දකින විදිහට ශ්‍රී ලංකාව මුදල් ජාලයට එකතු වෙන්න ඔනී. සංචාරක දිශාන්තීන් විදිහට මම කියන්නේ මෙහි ගෙවන එක් රාත්‍රියක් වෙනුවෙන් ඩොලර් 600 – 700 අතර ගානකට වඩා අඩුවෙන් විකුණලා හරියන්නැ. අපි විකුණන්නනේ ඉන්නේ. අපි සංචාරක දිශාන්තීන් රටකජු වලට වික්කොත් අපිට වඳුරො හම්බෙන්නේ. අඩුවට වික්කම ඒකයි වෙන්නේ. මට තේරේන විදිහට ශ්‍රී ලංකාව කේරළයටත් වඩා හොඳයි. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය ජීවන දර්ශකයේ භෞතික තත්වය සහ ස්භාහව සෞන්දර්ය කේරළයට වඩා 10ගුණයක් හොඳයි”

කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් ද සමුළුව ඇමතුවේය.

ශෙවාන් ඩැනියල් – සමූහ අධ්‍යක්ෂ කැපිටල් මහරාජා සමූහය,

”අවසානයේදී වැදගත් වෙන්නේ අදහස්. මම විශ්වාස කරන විදිහට වික්ටර් හියුගෝ කලකට ඉහතදී ප්‍රකාශයක් කර තිබුණා යම් කිසි අදහසක කාලය පැමිණි විට එහි බලය මැඩපවත්වන්න මේ ලෝකයේ කිසිම හමුදාවකට නොහැකි බව. මේ අවස්ථාවේදී මට දැනෙනවා අපි මේ හදන්නේ අලුත් ලෝකයක්. අපේ කාලය පැමිණ තිබෙනවා. කාන්ට් මහත්මයාණෙනි අපිට ඔබ ගැන ආඩම්බරයි. මම ඒකට හේතුව කියන්නම්. ගෝලීය දකුණ ලෙස අපි හැමෝම ඔබ ගැන ආඩම්බර වෙන්නේ ඔබ අදහස් වලින් පිරුණු නායකයෙක් නිසා. ඔබ ලෝකයේ අනෙක් නායකයින් සමග උරෙන් උර සිටගෙන ලෝකයේ තත්ත්වය ඒ ආකාරයෙන්ම ඔවුන්ට කියා දෙන කෙනෙක්”

ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා සමුළුව අදත් පැවැත්වෙයි.

inno1
WhatsApp Image 2025 02 21 at 11.46.16 AM 1
WhatsApp Image 2025 02 21 at 11.46.17 AM