මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ වෙනත් රාජ්‍යයකට පීඩාවක් වන අයුරින් භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඉරාන නෞකා ද්විත්වය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ සිද්ධියේදී ද ශ්‍රී ලංකාව මෙම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය අනුගමනය කළ බව ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා පැහැදිලි කළ පරිදි, මාර්තු 04 වැනිදා අලුයම ගාලු වරායේ සිට නාවික සැතපුම් 19ක් ඔබ්බෙන් වූ මුහුදේදී ප්‍රහාරයකට ලක් වූ යාත්‍රාවකින් ආපදා සංඥා නිකුත් වීමත් සමඟ ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදා ක්ෂණිකව මැදිහත් විය. එම මානුෂීය මෙහෙයුමේදී පුද්ගලයන් 32ක් මුදවා ගැනීමටත්, මළ සිරුරු 84ක් ගොඩබිමට රැගෙන ඒමටත් හැකි වූ අතර, තුවාලකරුවන් මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුරුව IRIS Bushehr නමැති ඉරාන නෞකාව ද ආපදාවකට ලක්ව මාර්තු 04 සහ 05 දිනවලදී ශ්‍රී ලංකා වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත. මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය සහ 1907 හේග් සම්මුතියට අනුකූලව අදාළ නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා භාරයට ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නෞකාවේ සිටින 208 දෙනෙකු (නිලධාරීන්, කැඩෙට් නිලධාරීන් සහ නාවිකයින්) ගොඩබිමට රැගෙන ඒමටත්, වාණිජ කටයුතුවලට බාධා නොවන පරිදි නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යාමටත් කටයුතු සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර දේශපාලන බලපෑම් හෝ බාහිර අඬහැර කිරීම් හමුවේ රජය කිසිසේත් කලබල නොවන බවත්, තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයේ තබාගෙන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේය.

එසේම, වත්මන් ලෝකයට ක්ෂණිකව අවශ්‍ය වී ඇත්තේ සාමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මිනිස් ජීවිත විනාශ වන සහ ගෝලීය ආර්ථිකය කඩා වැටෙන යුද්ධය සමනය කිරීම සඳහා කැපවන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව සෑම විටම ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරමින් මානවවාදීව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.