අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත් රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවේදීය.
දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වයද ළඟා කරගත යුතු බව අවධාරණය කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බවද සඳහන් කර තිබේ.
ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, රටට හිතකර ආයෝජකයන් ගෙන්වා ගැනීමට ආයෝජන මණ්ඩලයට පූර්ණ නිදහස ලබා දෙන බවත් ජනාධිපති වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබා දීමට මෙන්ම නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී රට තුළ ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.