දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි අතර ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති හමුවකදීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවටද තනාපති ඛලීඩ් නසර් අල් අමේරි මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ සහතික වී ඇත.
ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනයක්ද සිදු කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.