දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කරන බවත් ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර තිබෙන්නේ ඊයේ (05) පස්වරුවේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමනි. එහිදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති ඉංජිනේරු එරංග වීරරත්නද එම ධුරයේ වැඩ භාරගෙන තිබේ.

ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපති එහිදී සඳහන් කර ඇත.

දිළිඳුබව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දී තිබේ.

ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යංශයක් පැවතුණු බව සිහිපත් කර ඇති අතර මේ වනවිට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේද ඉදිකිරීම් පමණක් බවද සඳහන් කර ඇත.

පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සිදු කර නොමැති බවත් සිදු කර තිබෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සාකච්ඡා පමණක් බවත් ජනාධිපතිවරයා අනාවරණය කර තිබේ.

කම්කරු අමාත්‍යාංශයට විශාල ගොඩනැගිලි දෙකක් තිබෙන නමුත් තවමත් ජනතාවගේ පෝලිම්වල අඩුවක් දක්නට නොලැබෙන බවත් ඒ සඳහා විසඳුම් ලබා දීමට නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දී ඇත.

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඉපැයීමටද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ICTA ආයතනයේ සභාපති හාන්ස් විජේසූරිය ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.