මේ වනවිට රටේ ආර්ථිකය ගිනි කන්දක ආකාරයෙන් පවතින බවත්, එම අනතුරුදායි මට්ටමෙන් මුදවා ගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවතින දුර දක්නා නුවණ ප්රතිපත්ති ප්රකාශනයෙන් තහවුරු වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
පසුගිය 24 වෙනි දින පළකරන ලද දේශය පුවත්පතේ කතු වැකියට තේමා කර ගෙන තිබෙන්නේ ද නව ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශයයි. එම කතු වැකිය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.
ප්රතිපත්ති ප්රකාශය අරුත් ගන්වමු
රටේ හැම ක්ෂේත්රයක්ම එක සේ ආවරණය වන ප්රතිපත්ති ප්රකාශයක් ඉදිරිපත් කිරීම ඕනෑම නායකයකුට ප්රබල අභියෝගයකි. ජය ගැනීමට අපහසු ඉලක්කයකි. ඒ අපහසු ඉලක්කය අභියෝගාත්මක ලෙස ජය ගැනීමට තම මංගල ප්රතිපත්ති ප්රකාශයෙන්ම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකිවිය. දසවැනි පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරයේදී ජනාධිපතිවරයා මේ වික්රමය කළේය.
අපේ රට පවතින්නේ ආර්ථික ගිනි කන්දක් මත බව යථාර්ථයයි. මේ ගිනි කන්ද අඳුරු දූවිලි වලා පිට කරමින් රටේ පොදු මහජනතාව තලා පෙළා දැමූ ලෝදිය දහරක් බවට පත්වූයේ රට ලෝකය හමුවේ බංකොළොත් වීමත් සමඟිනි. එහි කම්පනයෙන් තවමත් රට මිඳී නැත. අයි.එම්.එෆ්. ණය පහසුකම් අනුමත වී ක්රියාකාරිත්වය ඇරඹීමෙන් පසුව එම ගිනි කන්ද පුපුරා යාම තාවකාලිකව ඇන හිටියේය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූයේ ඒ ගිනි කන්ද මැදිනි. මහ මැතිවරණය ජය ගත්තේ ගිනි කන්ද යළි පත්තු නොවනු ඇති බවට ජනතාව තුළ තිබූ මහා බලාපොරොත්තු ගොන්නේ ප්රතිඵලයක් හැටියටය. ජනාධිපතිගේ ප්රතිපත්ති ප්රකාශය අප විසින් කියවාගත යුත්තේ මේ පසුබිමේ සිටිමිනි.
ජනාධිපතිවරයා සිය ප්රකාශය තුළ රටේ ආර්ථික ගිනි කන්ද ගැන කළ සඳහනක්ද විය. ඒ අනුව රටේ ආර්ථිකය සියුම් හුයකින් එල්ලා තිබෙන විශාල ගැඹුරකින් සහ විශාල ලෙස සිරවී තිබෙන එකක් බවත් එයට විශාල කම්පන හෝ හැරවුම් ලක්ෂ ඔරොත්තු නොදෙන බවත් ප්රකාශ විය. කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු නොදෙන බවක්ද ඔහු සඳහන් කළේය. මේ නිසා අයි.එම්.එෆ්. සමඟ එළඹ තිබෙන එකඟතා අනුව කටයුතු කරමින් ආර්ථිකය හැසිරවීමට තම රජය සූදානම් බවද ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
මෙය නායකයකු වශයෙන් ඔහුගේ දුරදක්නා නුවණ පෙන්නුම් කිරීමකි. රට වැටී ඇති ආර්ථික නරා වළෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ යා යුතු එකම මාර්ගය අයි.එම්.එෆ්. එකඟතා අනුව ක්රියා කිරීම බව ශ්රී ලංකාව සමඟ ගනුදෙනු කරන සියලු ප්රබල රටවලද ස්ථාවරය වී තිබේ. එයට අභියෝග කිරීම හෝ වෙනස් කරන්න යාම පැහැදිලිව ඉල්ලං කෑමකි. දේශපාලන සටන් පාඨවල කුමක් ප්රකාශ වුවත් රටේ පවතින යථාර්ථය හමුවේ සුදුසුම පියවර ගැනීම නායකයකුගේ දැක්ම විය යුතුය. වත්මන් ජනාධිපතිවරයාගේ දැක්මද එයම වීම සුබ ලකුණකි.
එසේම යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයකටත් කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකටත් හිස එසවීමට කිසිදු ඉඩක් නොදෙන බවට ජනාධිපතිවරයා කළ සඳහනද සාමයට ලැදි රටේ ජනතාව හදවතින් වැළඳගත් ප්රතිඥාවක් විය. මේ රටේ ජාතිවාදයත් ආගමික අන්තවාදයත් ඇතැම් දේශපාලන නායකයන් විසින් පෝෂණය කර සුරතලුන් බවට පත් කරගෙන තිබූ බව අතීත ආදර්ශ අපට පැහැදිලිවම පෙන්වා දී තිබේ. සිංහල, දෙමළ, බෞද්ධ, මුස්ලිම්, හින්දු මේ සියලු ජාති හා ආගම්වලටම එය පොදු සිද්ධාන්තයකි. ඒ ආකල්පවලින් බැහැර වීමට රටේ ඉහළම නායකත්වය තීරණය කරන්නේ නම් සෙසු දේශපාලන නායකයන්ටද එම ක්රමයට අනුව යනු මිස වෙනත් විනාශකාරී මාර්ගයකට යා නොහැක. එසේ නොයා යුතු බවට වන ප්රබල පණිවුඩයත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුළින් රටේ මහත් බහුතර ජනතාවද පැහැදිලිවම පෙන්වා දී තිබේ. එම මතවාදය තදින්ම ඉදිරියට ගෙන යාම ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ අභිප්රාය වන බව ප්රකාශයට පත්වීම රටේ ජනතාවට සැනසිල්ලට කරුණක් වනු ඇත. එසේම රටේ නීතියට සියලු දෙනා යටත් බවත් කිසිවකුත් නීතියට ඉහළින් නැති බවත් ප්රකාශ කිරීමද වැදගත් අදහසක් බවද කිව යුතුය.
තමන්ට ඡන්දය ලබා නුදුන් විශාල ජනතාව මෙන්ම ඡන්දය ලබාදුන් ජනතාවද මේ රටේ පුරවැසියන් බවත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමේ වගකීමට තමා ඇතුළු රජය බැඳී සිටින බවත් ජනාධිපතිවරයා ප්රකාශ කළේය. රජය මානව හිතවාදී ලෙසට ක්රියා කරන බවට වන ප්රබල පණිවුඩයක් ඒ ප්රකාශය තුළ ගැබ්ව තිබේ. සමස්තයක් වශයෙන් ඉතා වැදගත් ප්රතිපත්ති ඉදිරිපත් කෙරුණු මේ කතාව අර්ථගැන්වීමේ භාරදූර අභියෝගය ඇත්තේද ජනාධිපති ඇතුළු නව ආණ්ඩුව අතේම බවද මෙහිදී පෙන්වා දීමට කැමැත්තෙමු.