මලෛයහ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී, කඳුකර ජනතාව දිගුකාලීනව මුහුණ දෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් හිමිකම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ. අදාළ ගැටලු නිරාකරණය කිරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු විය.
විශේෂයෙන්ම කඳුකරයේ පාසල්වල පවතින උග්‍ර ගුරු හිඟය පියවීම සඳහා, සුදුසුකම් ලත් දෙමළ මාධ්‍ය ගුරුවරුන් කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම අවස්ථාවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම්, වී. රාධාක්‍රිෂ්ණන් ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.