පාසල් තුළ පවත්වන උත්සව දෙමාපියන්ට ආර්ථික බරක් නොවන අයුරින් සංවිධානය කළ යුතු බවත්, ගුරු පත්වීම් හෝ ස්ථාන මාරුවීම් ලැබුණු විට ඒවා ප්‍රතික්ෂේප නොකර අදාළ ස්ථානවල රාජකාරි භාරගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොට්ඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (15) පැවති සාකච්ඡාවලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, 2026 වසර සඳහා පාසල් සංවර්ධනයට වෙන් කළ මුදල් විධිමත් සැලසුම් ඔස්සේ නිසි පරිදි යොදාගත යුතු බවයි. පන්ති කාමරවල ළමුන් සංඛ්‍යාව ප්‍රාථමික අංශයේ 25-30 අතරත්, ද්විතීයික අංශයේ 35 දක්වාත් පවත්වා ගැනීමට රජය සැලසුම් කර ඇති බවත්, කිසිදු හේතුවක් මත චක්‍රලේඛවලින් පරිබාහිරව ළමුන් ඇතුළත් කරගැනීමට ඉඩ නොදෙන බවත් ඇය අවධාරණය කළාය.
“2026 වසර අවසන් වන විට සෑම පාසලකටම ස්මාර්ට් බෝඩ් (Smart Board) සහ අන්තර්ජාල පහසුකම් ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ වෙනුවෙන් හෝ පාසලේ වෙනත් වාර්ෂික කටයුතු සඳහා දෙමාපියන්ගෙන් අමතර මුදල් එකතු කිරීමෙන් වළකින්න,” යැයි ඇය විදුහල්පතිවරුන්ට උපදෙස් දුන්නාය.
ගුරු සහ විදුහල්පති පුරප්පාඩු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, වසර ගණනාවක් තිස්සේ පැවති නීතිමය බාධාවන්ගෙන් පසු 23,000කට අධික පිරිසක් විධිමත්ව ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ඊට අදාළ විභාග අප්‍රේල් අග හෝ මැයි මුල පැවැත්වෙන බවත් ප්‍රකාශ කළාය.
විදුහල්පති පුරප්පාඩු සඳහා ඉල්ලුම් කිරීම් අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් ඇය, වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් සෙවීමට නව වැටුප් කොමිසමට යෝජනා ඉදිරිපත් කරන බව පැවසුවාය. එසේම ඇතැම් පිරිස් ගුරු පත්වීම් ඉල්ලා උද්ඝෝෂණය කළ ද, පත්වීමක් හෝ ස්ථාන මාරුවක් ලැබුණු පසු එය භාරගැනීමට සූදානම් නොමැති බවත්, දේශපාලන මැදිහත්වීම් මත තමන් කැමති පාසලකට යා හැකි යැයි පවතින මතය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද නිර්මාණය වී ඇති බවත් ඇය දැඩිව කියා සිටියාය.
විදුහල්පති පුරප්පාඩු සඳහා ඉල්ලුම් නොකර, එකම පාසලක නියෝජ්‍ය විදුහල්පති ලෙස දිගටම රැඳී සිටීමේ ක්‍රමය නතර කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, වෘත්තීය ගෞරවය තහවුරු කිරීම සඳහා අධ්‍යාපන කවුන්සිලය හරහා විශේෂ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට සූදානම් කර ඇති බව ද අනාවරණය කළාය.
මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ ඇතුළු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීහු මෙන්ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ