බාහිර ආර්ථික බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සහ පුරවැසියන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යෝජනාවකට අනුව අලුතින් පිහිටුවන ලද ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ (Economic Monitoring Committee) ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රථම වරට රැස්විය.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු කටයුතු කරයි.
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් නිර්මාණය වී ඇති අස්ථාවර ආර්ථික පරිසරය පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අයහපත් බලපෑම් අවම කිරීම, වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම සහ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
කුඩා විවෘත ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව, ඉන්ධන ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ මෙන්ම එම කලාපය සමඟ පවතින වාණිජ හා ආයෝජන සබඳතා මත දැඩිව රඳා පවතී. එබැවින්, බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානම නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
මෙම කමිටුව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන සහ මණ්ඩලවල ප්‍රධානීහු රැසක් ඇතුළත් වෙති.
