අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (09) පිලිපීනයේ ප්‍රමුඛ ආයතන කිහිපයක බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවල නිරත වූවාය.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා පසුගියදා (08) පිලිපීනයේ මැනිලා නුවරට ගිය අග්‍රාමාත්‍යවරිය මෙම හමුවීම්වලට එක් වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරිය සහ පිලිපීන අධ්‍යාපන ලේකම් සොනී අන්ගාරා (Sonny Angara) අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අධ්‍යාපන ප්‍රතිපත්ති, ගුරු පුහුණු වැඩසටහන්, විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ තාක්ෂණය ඉගෙනුම් ක්‍රියාවලියට මුසු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළාය.

අනතුරුව පිලිපීනයේ උසස් අධ්‍යාපන කොමිසමේ (CHED) සභාපති ආචාර්ය ෂර්ලි සී. අගෘපිස් (Shirley C. Agrupis) ඇතුළු නියෝජිත පිරිසක් ද ඇය හමුවිය. එහිදී දෙරටේ උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල අතර ශිෂ්‍ය හා ආචාර්ය හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව සහ තත්ත්ව සහතික කිරීමේ රාමු ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, පිලිපීනයේ තාක්ෂණික අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අධිකාරියේ (TESDA) ලේකම් සහ අධ්‍යක්ෂ ජනරාල් ජෝස් ෆ්‍රැන්සිස්කෝ බී. බෙනිටෙස් (Jose Francisco B. Benitez) සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්වූවාය. වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ (TVET) දැනුම හුවමාරුව, ආයතනික හවුල්කාරිත්වය සහ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම මෙහිදී මූලික අවධානයට ලක් විය.

තිරසාර සංවර්ධනය සහ මානව ප්‍රාග්ධනය ගොඩනැගීම වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීමට ඇති කැපවීම මෙම හමුවීම් හරහා තවදුරටත් තහවුරු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙයි. මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එච්. පියුමි බණ්ඩාර ද එක්ව සිටියහ.