ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විශේෂ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියාය.

මැනිලා නුවර නිනෝයි ඇක්විනෝ (Ninoy Aquino) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, පිලිපීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් නිල වශයෙන් පිළිගනු ලැබුවාය.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

මීට සමගාමීව, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.