ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති අතර, වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව ඊට කඩිනම් සහ තිරසාර විසඳුම් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අද (06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිළිබඳ දත්ත ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරිය, මේ වන විට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (SLEAS) පුරප්පාඩු 903ක් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (SLPS) පුරප්පාඩු 3,790ක් පවතින බව අනාවරණය කළාය. 2021 වසරේ සිට පැවති විභාගවලින් තේරී පත් වූවන් පත්වීම් භාර නොගැනීම ඇතුළු හේතු මත පුරප්පාඩු පවතින අතර, ඒවා පිරවීම සඳහා 2026 මාර්තු මස දෙවන සතියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඇය සඳහන් කළාය. මීට අමතරව 2021-2025 කාලය තුළ අලුතින් ඇති වූ පුරප්පාඩු සඳහා ඉදිරියේදී තරග විභාග පැවැත්වීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
විදුහල්පති සේවයට ඇතුළත් වීම දැනට නව බඳවා ගැනීමක් ලෙස සැලකීම නිසා මතුව ඇති වැටුප් ගැටලුව විසඳීම සඳහා, විදුහල්පති සේවයට පත්වීම “උසස් වීමක්” ලෙස සලකා වැටුප් පරිවර්තනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට නව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය හෙළි කළාය.
අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම පවතින වැටුප් අර්බුද සඳහා තිරසාර විසඳුම් ලබා දීම පිණිස රජය විසින් මෙම වසරේදී නව වැටුප් කොමිසමක් පත් කිරීමට නියමිත බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය. විදුහල්පති සංගම් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, එම ප්‍රතිචාර මත කැබිනට් මණ්ඩලය හරහා ඉදිරි පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.