ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවකට ඇමෙරිකාව විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද්විත්ව ස්ථාවරයක සිට කටයුතු කරන බව නිරීක්ෂණය වේ.
පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවා වී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සිය දේශපාලන අනුගාමිකයින් කුපිත කරවන අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, ඊයේ (04) ‘India Today’ ජාත්‍යන්තර මාධ්‍ය ජාලය වෙත අදහස් දක්වමින් ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම අර්බුදකාරී අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික භාවයකින් යුතුව කටයුතු කරන බවයි. කලාපීය නායකයින්ගේ පරිණතභාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “විශේෂයෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති වැනි නායකයන් මේ වගේ තත්වයන්ට බුද්ධිමත්ව මුහුණ දිය හැකි නායකයන්,” බව තමන් විශ්වාස කරන බවයි.
වත්මන් රජය මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ 10කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සහ රැකියා සුරක්ෂිතතාව පිළිබඳ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර තලයේ නිවැරදි භූ දේශපාලනික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. එහෙත් දේශීය දේශපාලන වේදිකාවේදී නාමල් රාජපක්ෂ මෙම තත්ත්වය විකෘති කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල වේ.
‘India Today’ සමඟ පැවති සාකච්ඡාවේදී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව විදෙස් සබ්මරීන ක්‍රියාත්මක වීම සැලකිලිමත් විය යුතු කරුණක් බවත්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාවට විශාල වගකීමක් ඇති බවත්ය. ගල්ෆ් කලාපයේ අස්ථාවරත්වය ඉන්දියන් සාගරයට පැතිරීම වැළැක්විය යුතු බවත්, යුද්ධය පිළිගත නොහැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය.