විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව යුරෝපා සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ඉතාලියේ රෝම නුවරදී විශේෂ ජන හමුවක් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ රෝම විධායක සභාව විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, සියලු වෙනස්කම් පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස රට ගොඩනැගීමට දායක වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කර ගැනීමේදී, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික බර වාහන රියදුරන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ඉතාලි සංවිධායක සුදත් අධිකාරී ඇතුළු පිරිසක් සහභාගී වූහ.


















