ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන මෙම අවස්ථාවේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට පැමිණෙන ඉන්දීය ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය (Sri Lanka India Society) විසින් පසුගිය 26 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
1949 වසරේ සිට දශක හතකට අධික කාලයක් දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමට ශ්‍රී ලංකා-ඉන්දියානු සංගමය ලබා දුන් දායකත්වය ඇයගේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේ ‘දෙව්නිමෝරි’ ශුද්ධ වූ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම සහ ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳව ද ඇය මෙහිදී කෘතවේදීත්වය පළ කළාය.
විශේෂයෙන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත් වූ මොහොතේ ‘සාගර බන්ධු’ මෙහෙයුම හරහා පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව ක්‍රියාත්මක වූ ආකාරය අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. රට යළි ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජයක් ලබා දීම ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණි.
ආර්ථික සංවර්ධනය, බලශක්තිය, ඩිජිටල් පරිවර්තනය සහ සාමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය පුළුල් වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, කලාපයේ යහපත උදෙසා මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව අවධාරණය කළාය.
මෙහිදී ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ නිල සඟරාව එළිදැක්වීම සහ “Port of Call” ග්‍රන්ථය පිළිගැන්වීම ද සිදු විය.


