හිමිකම’ වැඩසටහනෙන් ඉඩම් අයිතිය ජනතාවට; නව ආර්ථිකයට ගැළපෙන්න ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරනවා – ජනාධිපති
රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවට මෙන්ම පුරවැසියාගේ ආරක්ෂාවට ද ඉතා වැදගත් වන අතර, විධිමත් අධ්‍යයනයකින් පසුව යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (27) පස්වරුවේ අනුරාධපුර, කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසරපත්‍ර සහ දීමනාපත්‍රවල කොන්දේසි ඉවත් කර, 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතට අනුකූලව ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීම සිදු කෙරේ. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500ක් සඳහා හිමිකම් පත්‍ර පිරිනැමීම සිදු වූ අතර, ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව 50 දෙනෙකු වෙත ප්‍රදානපත්‍ර ලබා දීම සිදු විය.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය තුළ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ලොවටම පැහැදිලි වූ බවයි. නව ලෝකයකට පිවිසීමේදී ජනතාවගේ ඉඩම් සංකීර්ණ නීතිවලින් බැඳ තැබීම අනවශ්‍ය බවත්, ආර්ථික කටයුතු පහසුවෙන් සිදු කිරීමට නිදහස් බලපත්‍රයක් ලබා දෙන බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, ලැබුණු ඉඩම විකුණා නොදමා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ලෝකය තාක්ෂණය සහ විද්‍යාව මත පදනම් වූ ආර්ථිකයකට ගමන් කරන බැවින්, AI මධ්‍යස්ථාන හෝ හරිත බලශක්ති උද්‍යාන වැනි නව කර්මාන්ත සඳහා ඉඩම් වෙන් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පාරම්පරික කෘෂිකර්මාන්තයට පමණක් ඉඩම් සීමා නොකර, නව ආර්ථික ප්‍රවණතා උකහා ගැනීම රටේ දියුණුවට අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එච්.එම්. සුසිල් රණසිංහ, ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.