මෙරට දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරමින් ගුණගරුක පුරවැසියන් බිහි කිරීමට ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) හරහා පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන් ඉටුකරන සමාජ සේවය අතිශය ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර වසර 40ක් සපිරීම සහ එහි මහලේකම්, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

1986 වසරේ සිට ජපානය සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ලෙස ක්‍රියා කරන මෙම මධ්‍යස්ථානය, දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ලබාදෙන දායකත්වය මෙහිදී රජයේ ඇගයීමට ලක් කෙරිණි.

පසුගිය දශක හතරක කාලය පුරා ක්‍රියාත්මක “නිප්පොන් ශිෂ්‍යත්ව” වැඩසටහන හරහා සිසුන් දහස් ගණනකට පාසල් උපකරණ, මූල්‍ය හා වෛද්‍ය ආධාර ලබා දී ඇති අතර, ජපන් භාෂා අධ්‍යාපනය සහ ජපානයේ රැකියා අවස්ථා සඳහා තරුණ ප්‍රජාවට මගපෙන්වීම ද සිදු කර ඇත.

75 වන ජන්ම දිනය සමරන පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන් වෙත මෙහිදී සුබපැතුම් එක්කළ අග්‍රාමාත්‍යවරිය, උන්වහන්සේගේ ශාසනික සහ සාමාජීය මෙහෙවර තවදුරටත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළාය. මෙම අවස්ථාවට කෝට්ටේ නගරාධිපති ආරෝෂ අතපත්තු සහ ජපානයේ අනුග්‍රාහක නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.