හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබූ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේ නඩුව යළි ආරම්භ නොකරන්නේ මන්දැයි අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයක් හමුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබීය. රජයේ මුදල් අවභාවිත කරමින් දෙමාපියන්ගේ ස්මාරක ඉදිකිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවති නඩුව, ඔහු ජනාධිපති වීමෙන් පසු හිමි වූ විධායක මුක්තිය මත ඉල්ලා අස්කර ගත් බව අජිත් පී. පෙරේරා පෙන්වා දුන්නේය. වර්තමානයේ ඔහුට එම මුක්තිය නොමැති වුවද, වසරක් ගතවීත් එම නඩුව නැවත පවරා නොමැති බවත්, ඊට හේතුව ආණ්ඩුව බිය වී තිබීම හෝ දේශපාලන ගනුදෙනුවක් (Deal) ද යන්න ඔහු ප්‍රශ්න කළේය.
මීට පිළිතුරු දෙමින් හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, අධිකරණ අමාත්‍යාංශය ලෙස තමන්ට කළ හැක්කේ යටිතල පහසුකම් සැපයීම පමණක් බවයි. ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණවල කටයුතු දිනපතා සිදුවන බවත්, අලුතින් උසාවි 07ක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂගේ නඩුව ගැන කෙලින් පිළිතුරක් නොලැබුණු බව පවසමින් අජිත් පී. පෙරේරා දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී දූෂිතයන්ට එරෙහිව ඉල්ලා අස්කර ගත් නඩු 42ක් නැවත පවරන බවට පොරොන්දු වූ බව ඔහු මතක් කර දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂණ නානායක්කාර කියා සිටියේ, අදාළ ප්‍රශ්නය යොමු කර ඇත්තේ සංඛ්‍යා දත්ත ගැන මිස පුද්ගලයන්ගේ නඩු ගැන නොවන බැවින් ඊට පිළිතුරු නොදෙන බවයි.
“ගෝඨාභය රාජපක්ෂ බලයේ සිටින විට ඔහුගේ නමවත් කීමට බියෙන් ඇඳන් යට සැඟවී සිටි පිරිස් දැන් වීරයන් වී ප්‍රශ්න කිරීම ගැටලුවක්,” යැයි හර්ෂණ නානායක්කාර එහිදී දැඩිව කියා සිටියේය. මෙම ප්‍රකාශයත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.