බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට, ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (Electronic Monitoring) යටතේ නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙරට බන්ධනාගාර පද්ධතිය ඉදිකර ඇත්තේ රැඳවියන් 10,500ක් සඳහා වුවද, වර්තමානය වන විට එහි 39,000ක පිරිසක් රඳවා සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහි ඇති බරපතළම ගැටලුව වන්නේ වරදකරුවන් වූ 10,000ක පිරිසට වඩා, වරදකරුවන් නොවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28,000ක පිරිස බව හෙතෙම සඳහන් කළේය. එම පිරිසෙන් 20,000ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බව ද අනාවරණය විය. යෝජිත නව පනත හරහා රිමාන්ඩ් කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීම මගින් මෙම තදබදය පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.

අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ වන විට සිවිල් සහ අපරාධ නඩු ලක්ෂ 11ක් පමණ ගොඩගැසී ඇති බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් නව අගවිනිසුරුවරයා යටතේ නඩු ගොනු වන වේගයට වඩා නඩු අවසන් වීමේ වේගය ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි සති දෙක තුළ නව උසාවි දෙකක් සහ අලුත්කඩේ නව ගොඩනැගිල්ලේ උසාවි 05ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.