ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකේහිකෝ මත්සුවෝ (Takehiko Matsuo) ප්‍රමුඛ ඉහළ පෙළේ ජපාන දූත පිරිසක් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර විශේෂ හමුවක් පසුගියදා (17) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) සහ ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති ෆුමිහිකෝ කොබෙයාෂි (Fumihiko Kobeyashi) ඇතුළු නියෝජිතයින් 40 දෙනෙකුගෙන් පමණ මෙම දූත පිරිස සමන්විත විය. ඊට Itochu Corporation, Dole Asia Holdings, Mitsui & Co. Ltd. සහ Tokyo Kyodo Holdings වැනි ජපානයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් නියෝජිතයින් මෙන්ම JETRO සහ JICA වැනි රාජ්‍ය ආයතනවල නිලධාරීහු ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, අපනයන, සංචාරක සහ සමුද්‍රීය ක්ෂේත්‍ර සඳහා ගුණාත්මක විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ ප්‍රමුඛතාව බවයි. ශ්‍රී ලංකාව තරඟකාරී සහ විශ්වාසදායක ආයෝජන ගමනාන්තයක් ලෙස සලකා බලන ලෙස ද අමාත්‍යවරයා ජපාන ආයෝජකයින්ට ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ දක්ෂ ශ්‍රම බලකාය ජපාන ආයෝජකයින්ට තවදුරටත් ආකර්ෂණීය සාධක බව පෙන්වා දුන් උප අමාත්‍ය මත්සුවෝ, ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය සඳහා යෝජිත “අපනයන අභිමුඛ කර්මාන්ත කොරිඩෝවක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ” ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. මෙහිදී ජපාන සමාගම්වල ආයෝජන අපේක්ෂාවන් සහ ගැටලු පිළිබඳව ද ද්විපාර්ශ්විකව සාකච්ඡා කෙරිණි.