ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ‘AI Impact 2026’ සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (18) පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පැවැත්වීය.
එහිදී ජනාධිපතිවරයා හමුවූයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor ය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයන් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවර ‘Bharat Mandapam’ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුව පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (19) සමුළුව ඇමතීමට නියමිතය.
සමුළුවට සමගාමීව අද (18), හෙට (19) සහ අනිද්දා (20) යන තෙදින තුළ ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට එක්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද (18) රාත්‍රියේ පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා එක්වනු ඇත.
ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, සමුළුවට පැමිණි සෙසු රාජ්‍ය නායකයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි