අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු වූ ස්ථානය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙය හුදකලා සිදුවීමක් මිස ජාතික ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවයි. ඇතැම් පිරිස් මෙම සිද්ධිය ජාතික ආරක්ෂාව බිඳ වැටීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් රජයේ ශෝකය පළ කළ අමාත්‍යවරයා, සමාජය තුළ පවතින අවි ආයුධ පාලනය කිරීමේ අභියෝගය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. පසුගිය සමයේ දේශපාලනඥයින්ට ලබා දුන් ගිනි අවි තවමත් නැවත භාර දී නොමැති බවත්, ඇතැම් හමුදා කඳවුරුවලින් පාතාලයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් හෙතෙම අනාවරණය කළේය.

මෙවැනි පසුබිමක් තුළ ඝාතන සංස්කෘතිය තරයේ හෙළා දකින බවත්, පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් කියා සිටියේය.