රටේ ආරම්භ කර ඇති වෙනස ජාතිවාදය අවුළුවා ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්, එම ගමන සාර්ථක කර ගැනීම සඳහා කාන්තාවන් පෙරමුණ ගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (15) මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ, ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් මෙරට ප්‍රබල බලවේගයක් වුවද, ප්‍රායෝගිකව ඔවුන්ට එම බලය හිමිවී තිබේද යන්න ගැටලුවක් බවයි. යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩිම පීඩාවකට ලක්වූයේ කාන්තාවන් බවත්, තවමත් යුද්ධයෙන් අතුරුදන් වූවන් පිළිබඳ ශෝකයෙන් පසුවන සහ තනිව පවුල් නඩත්තු කරන කාන්තාවන් බොහෝ පිරිසක් සිටින බවත් ඇය සිහිපත් කළාය.

රජය ජාතිවාදයට එරෙහිව දැඩි සටනක් ගෙන යන අතරතුර, ඇතැම් කණ්ඩායම් නැවතත් අසමගිය ඇති කිරීමට උත්සාහ දරන බව අග්‍රාමාත්‍යවරිය චෝදනා කළාය. දූෂණය නතර කර ආර්ථිකය ශක්තිමත් කිරීමට එම පිරිස් අකමැති බවත්, ඔවුන්ගේ එකම අරමුණ බලය ලබා ගැනීම පමණක් බවත් ඇය අවධාරණය කළාය. 2022 ආර්ථික කඩාවැටීමෙන් පසු වත්මන් රජය ආර්ථිකය ශක්තිමත් කළ නිසා ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයේදී ණය නොවී ජනතාවට සහන සැලසීමට හැකි වූ බව ද ඇය පෙන්වා දුන්නාය.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන පොරොන්දුවක් බවත්, මීට පෙර දේශපාලන රැකවරණ ලැබූ ජාවාරම්කරුවන්ට එරෙහිව දැන් පොලිසිය ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය සඳහන් කළාය. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනයන් වැළැක්වීමට නීතිය කාර්යක්ෂම කළ යුතු බවත්, ඒ සඳහා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් වසර 5කට පසු උපාධිධාරී ගුරුවරුන් බඳවා ගන්නා බවත්, සෑම කොට්ඨාසයකම එක් පාසලක් දියුණු කර ද්විතීයික පාසල්වලට ‘ස්මාර්ට් පන්ති කාමර’ ලබා දෙන බවත් ඇය පැවසුවාය. ආර්ථිකය තුළ කාන්තාවන්ගේ දායකත්වය ඉහළ වුවද ඔවුන්ට ලැබෙන වැටුප් අඩු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, කාන්තාවන්ගේ වෘත්තීය ජීවිතයට පහසුකම් සැලසීමට දරුවන් සුරැකීමේ මධ්‍යස්ථාන ඇති කළ යුතු බව ද අවධාරණය කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගදීෂ්වරන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ විශාල කාන්තා පිරිසක් සහභාගී වූහ.