මහජන දේපළ කොල්ලකෑ කිසිදු අයෙකුට හෝ අපරාධකරුවෙකුට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතබන බවත්, ඒ සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි.

පසුගිය 06 වැනිදා පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම හමුවේ විපක්ෂය බියට පත්ව ‘වොයිස්කට් දේශපාලනයක’ නිරත වෙමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවයි. විශේෂයෙන් විපක්ෂයේ ඇතැම් පිරිස්වලට එරෙහිව ජනතාව විසින් පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්, අපරාධකරුවෙකු හෝ දූෂිතයෙකු පොලිසියට කැඳවූ විට ඊට එරෙහිව මහා ජන බලයක් ඇති බව පෙන්වීමට විපක්ෂය රංගනයක නිරත වන බවත් ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත්, රජය කිසිසේත් පසුබට නොවන බව අවධාරණය කළ අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන දේපළ සොරාගත් සහ අපරාධ සිදුකළ සියලු දෙනා නීත්‍යානුකූලව අධිකරණය හමුවට පැමිණවීමට පොලිසිය මෙහෙයවන බව වැඩිදුරටත් කියා සිටියේය.